කාන්තාවන්ගේ වේදනාකාරී ලිංගිකත්වය තේරුම් ගැනීම. | The Family Planning Association of Sri Lanka

කාන්තාවන්ගේ වේදනාකාරී ලිංගිකත්වය තේරුම් ගැනීම.

යෝනි මාර්ගය ආශ්‍රිත මාංශපේශීවල ඇතිවන හැකිලීම: කාන්තාවන්ගේ වේදනාකාරී ලිංගිකත්වය තේරුම් ගැනීම.

ලිංගික එකතුවිමකදී ඇතිවන වේදනාකාරී තත්වය කාන්තාවන් අත්විඳින පොදු ලක්ෂණයක් වන අතර එය කාන්තාවන්  ලිංගික සංසර්ගයට  මැලිවීම සඳහා වඩාත් පොදු හේතුවකි. එය බොහෝවිට යෝනි මාර්ගය අවට මාංශපේශීවල ඇතිවන අසාමාන්‍ය හැකිලීම නිසා ඇතිවන තත්වයකි. මෙහිදී,  යෝනි මාර්ගය ආශ්‍රිත මාංශ පේශී හැකිලීම නිසා ලිංගික එකතුවිමකදී අතිශය වේදනාකාරී තත්වයක් ඇති කරන අතර මේ හේතුවෙන් ඇතැම් අවස්තාවලදී ලිංගිකව එක්විය නොහැකි තරම් වේදනාකාරී විය හැකිය. එසේම, ටැම්පොන්ස් හෝ ඔසප් කෝප්ප භාවිතා කිරීමේදී සහ යෝනිමාර්ගය සම්බන්ධ යම් යම් පරීක්ෂණ සිදුකරන අවස්තාවලදීද යෝනි මාර්ගය අවට මාංශපේශීවල හැකිලීම සිදුවිය හැකිය.

කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍ය වටා පවතින මෙවැනි තත්වයන් නිසා බොහෝ කාන්තාවන් නිහඬව දුක් විඳින අතර ඔවුන්ට  සෞඛ්‍ය සම්පන්න ලිංගික ජීවිතයක් අත්කර ගැනීම වලක්වනු ලබයි. මෙවැනි  තත්වයන් මානසික දුෂ්කරතා සහ පුද්ගලික සම්බන්ධතාවල ගැටළු දක්වා වර්ධනය විය හැකිය.

යෝනි මාර්ගය අවට මාංශපේශීවල ඇතිවන හැකිලීමේ තත්වයන් ඇති කාන්තාවන්ගේ  අඩු ලිංගික ආශාව, යෝනිමර්ගයේ වියලි බව සහ ලිංගික උද්දිපනයේ අඩු බව නිසා තමන්ගේ පෞද්ගලික සබඳතාවල ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකිය. මෙම තත්වය නිසා කාන්තාවන්ගේ ආත්ම අභිමානය දුර්වලවීම, මානසික අවපීඩනය සහ වෙනත් මානසික සෞඛ්‍ය තත්වයන්ටද මුහුණපායි.

යෝනි මාර්ගය ආශ්‍රිත මාංශපේශි හැකිලීම පිළිබඳව බලපාන සාධක විවිධ වේ. ප්‍රධාන වශයෙන් මනෝවිද්‍යාත්මක සාධක හෝ භෞතික (ශාරීරික) තත්වයන් හෝ මෙම තත්වයන් දෙකෙහිම එකතුවක් නිසා විය හැකිය. ඇතැම් කාන්තාවකට ඇයගේ ජිවිත කාලය තුළ වේදනාවකින් තොරව ලිංගික එක්වීමක් ලැබී නොතිබිය හැකිය. නමුත් වේදනාවෙකින් තොරව ලිංගිකව එක්වී ඇති කාන්තාවකට පවා මෙම තත්වය පසු කාලීනව ඇතිවිය හැකිය.

යෝනි මාර්ගය අවට මාංශපේශීවල ඇතිවන හැකිලීම සඳහා බොහෝදුරට මනෝවිද්‍යාත්මක තත්වයන් බලපායි. එනම්,

  • කාංසාව (ලිංගිකත්වය පිළිබඳව ඇතිවන කාංසාව ඇතුලත්ව)
  • ලිංගික එකතුවීමක් සඳහා දක්වන බිය 
  • අතීතයේ මුහුණදී ඇති කම්පන තත්වයන් (ළමා වියේදී මුහුණදුන් අපචාර තත්වයන්/සිද්ධි)
  • සෘණාත්මක ලිංගික අත්දැකීම් ( පහරදීම් හෝ වෙනත් ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් ව ප්‍රචණ්ඩත්වයට මුහුණදීම ආදිය)
  • මානසික අවපීඩනය හෝ ආතතිය වැනි මානසික තත්වයන්ගෙන් පෙලීම.
  • විවාහක යුවල අතර පවතින ගැටළු සහ එම ගැටළු හේතුවෙන් ඇතිවන දුරස්වීම්

යම්කිසි පුද්ගලයෙක් ලිංගික එකතුවීමක් පිළිබඳව දක්වන කාංසාව සහ බිය ලිංගික සංසර්ගය කෙරෙහි සෘණාත්මක මතවාදයන් පාරම්පරිකව ඉදිරියට ගෙනයා හැකි තත්වයක් නිර්මාණය කල හැකිය.  එම සෘණාත්මක ආකල්ප පවුලේ ගැහැණු දරුවන් කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරනු ඇත. දකුණු ආසියාතික සංස්කෘතීන් බොහෝදුරට ගැහැණු දරුවන් සිය විරුද්ධ ලිංගික පාර්ශවය සමග පවත්වන සියලුම ආකාරයේ සම්බන්ධතා පිළිබඳව, විශේෂයෙන් ලිංගික සබඳතා පිළිබඳව වැඩි කැමැත්තක් නොදක්වන අතර මෙවැනි තත්වයන් ඔවුන්ගේ ඉදිරි ජිවිතයේ ලිංගික සබඳතා කෙරෙහි අනියත බියක් ඇතිකල හැකිය.

යෝනි මාර්ගය අවට මාංශපේශීවල ඇතිවන හැකිලීම සඳහා බලපාන භෞතික (ශාරීරික) හේතු:

  • ලිංගික සංසර්ගයකදී යෝනි මාර්ගෙන් පිටවන ශ්‍රාවයන් ප්‍රමාණය අඩුවීම - කාන්තාවකගේ ඔසප් ක්‍රියාවලිය අවසන්වීම (ආර්තවහරණය), දරු ප්‍රසුතියකින් පසු කාලය, දියවැඩියා තත්වය හෝ කොඳු ඇට පෙළේ පවතින රෝගී තත්වයන් නිසා මෙම ශ්‍රාවයන්ගේ පිටවීම අවමවිය හැකිය. 
  • ප්‍රජනන ක්‍රියාවලියේ පවතින විකෘතිතා හෝ අසමානතා 
  • ලිංගික ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන කම්පන තත්වයන් 
  • ප්‍රජනන පද්ධතියේ ඇති අසාදන තත්වයන් 
  • යෝනි මාර්ගය/කුහරය ආශ්‍රිතව සිදුකර ඇති විකිරණශීලි ප්‍රතිකාර

යෝනි මාර්ගය ආශ්‍රිතව මාංශ පේශි හැකිලීම සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීම සහ රෝග තත්වයන් හඳුනා ගැනීමේදී වෛද්‍යවරයා  විසින් රෝගියාගේ ලිංගික සෞඛ්‍ය ඉතිහාසය පිලිබඳව දීර්ඝ ප්‍රශ්න කිරීම් සිදුකල හැකිය. එසේම, එම තත්වයන්ට  තුඩු දී ඇති කරුණු සොයාබැලීම සඳහා ලිංගික ප්‍රදේශය ආශ්‍රිත පරීක්ෂණ කිරීමටද නියම කළ හැකිය.

යෝනි මාර්ගය ආශ්‍රිතව මාංශ පේශි හැකිලීම සම්බන්ධයෙන් තුඩු දී ඇති මතුපිටින් නොපෙනෙන කරුණු කළමනාකරණයේදී  භෞතිකව (ශාරීරිකව) සිදුකලයුතු මුලපිරීම්  සහ මනෝවිද්‍යාත්මක සහය  යන කොටස් දෙකම පිළිබඳව අවදානය යොමුකළ යුතුවේ.

මනෝචිකිත්සාව, යුවල වශයෙන් සිදු කරන චිකිත්සාව, ලිංගික එකතුවීම් සහ ඒ පිළිබඳව සිදු කරන චිකිත්සාවන් හරහා යුවලකගේ පවතින දුරස්ථභාවය අවම කරවීමටත් ඔවුන් ලිංගික වශයෙන් සමීප කරවීමටත් උපකාරී වේ. එමෙන්ම මෙවැනි ප්‍රතිකාර ක්‍රම හරහා ලිංගික එකතුවීමට ඇති බිය, කාංසාව අඩු කිරීමටත් අතිශය උපකාරී වේ.

යෝනි කුහරයේ මාංශපේශි තට්ටුවල ක්‍රියාකාරිත්වය සඳහා සිදු කරන ප්‍රතිකාරය  (Pelvic floor therapy) යෝනි මාර්ගය අවට මාංශ පේශි පාලනය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර ඒ හරහා මාංශ පේශි හැකිලීම අවම කරයි. තවද, නිර්දේශිත ආලේපන සහ ලිහිසි ද්‍රාවන ආදිය භාවිතය වැනි සරල ක්‍රම නිවසේදී භාවිතා කළහැකිය. ප්ලාස්ටික් හෝ සිලිකොන් වලින් සාදන ලද ටියුබ් වැනි යෝනි මාර්ගය වඩාත් පුළුල්ව විවර කළහැකි උපාංග (Vaginal dilators) භාවිතා කිරීමෙන් එහි පවතින ස්වභාවික හැකිලීම අවම කරගත හැකිය.

යෝනි මාර්ගයේ මාංශ පේශි හැකිලීම සුව කිරීම සඳහා කාලය ගත වන අතර රෝගීන් ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා කැපවිය යුතුය. එය අභියෝගාත්මක තත්ත්වයක් වන නමුත් මනෝවිද්‍යාත්මක සහාය සහ වෛද්‍ය මැදිහත්වීම සමඟ ඵලදායී ලෙස ප්‍රතිකාර කළ හැකිය. මෙවැනි තත්වයන් පිලිබඳ දැනුම සහ දැනුවත්භාවය වැඩි කිරීම හරහා බොහෝ පිරිසකට ඔවුන්ගේ ලිංගික සෞඛ්‍ය පිලිබඳ ගැටළු සම්බන්ධයෙන් උපකාර ලබාගැනීමේදී වඩාත් පහසුවක් දැනෙනු ඇතැයි  අපේක්ෂා කෙරේ.

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By