හදිසි තත්වයන් ඇතිවිය හැකිය!! - හදිසි උපත් පාලන තත්වයන් අවම කරගැනීම. | The Family Planning Association of Sri Lanka

හදිසි තත්වයන් ඇතිවිය හැකිය!! - හදිසි උපත් පාලන තත්වයන් අවම කරගැනීම.

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසුව සැලසුම් නොකළ ආකාරයේ ගැබ් ගැනීමක් සිදුවීම ඔබව මානසිකව සහ සමාජීයව පිඩනයට පත් කරයි. මෙවැනි අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසුව ක්ෂණික උපත්පාලන ක්‍රමවේදයන් භාවිතා කිරීම මගින් හදිසි, සැලසුම් නොකළ ගැබ්ගැනීම සැලකියයුතු මට්ටමකින් අවම කරගත හැකිය. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු පැය 24 ඇතුලත ක්ෂණික උපත් පාලන ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් 98%ක ප්‍රතිශතයක හදිසි ගැබ් ගැනීම් සාර්ථකව පාලනය කල හැකිය. ප්‍රජනන කාර්ය සක්‍රිය වයස් කාණ්ඩයේ සිටින කාන්තාවන් තමන්ගේ විවාහක අවිවහකබව පිළිබඳව නොසලකා හදිසි උපත්පාලන ද්‍රව්‍ය මිලදී ගැනීම හෝ භාවිතාකිරීම සිදුකල යුතුය. යම්කිසි පුද්ගලයෙකු කුමන ආකාරයක හෝ උපත්පාලන ක්‍රමවේදයක් අනුගමන කර නොමැති නම් හෝ යම්කිසි හදිසි තත්වයකදී හෝ අනතුරකදී එනම් කොන්ඩම් කැඩී යාමකදී හෝ ලිංගික අපයෝජනයකදී විකල්පයක් වශයෙන් හදිසි උපත් පාලන ක්‍රම භාවිතා කලහැකිය.

මුඛය හරහා ලබාගන්නා හදිසි උපත් පාලන ක්‍රමවේද - ගිලින පෙති

හදිසි උපත්පාලනය සඳහා levonorgestrel හෝමෝනය අඩංගු උපත්පාලන පෙති වර්ග දෙකක් ශ්‍රීලංකාව තුළදී ලබාගත හැකිය. එම පෙති පොස්ටිනොර් 1 සහ පොස්ටිනොර් 2 වශයෙන් හැඳින්වේ (Postinor 1 and Postinor 2). අනාරක්ෂිත ලිංගික එක්වීමකින් දින 5ක් එනම් පැය 120 ක් ඇතුලත හදිසි උපත් පාලන පෙති ලබාගත යුතු වේ. පොස්ටිනොර් 1 එක පෙත්තකින් සමන්විතවන අතර පොස්ටිනොර් 2 පෙති දෙකකින් සමන්විත වේ. පොස්ටිනොර් 2 භාවිතා කිරීමේදී අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු ඉතා ඉක්මනින් පළමුවන පෙත්ත ලබාගත යුතු අතර පැය 12කින් පසුව දෙවෙනි පෙත්ත ලබාගත යුතුවේ. මෙම පෙති බොහෝ ඔසුසල්වලින් ලබාගත හැකි අතර මිලදීගැනීමේදී බෙහෙත් වට්ටෝරු ලබාදීම අවශ්‍ය නොවේ. මෙම පෙති ලබාගැනීම හරහා ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ඩිම්බයක් සංසේචනය වීම වැලැක්වීම හෝ ඩිම්බ මෝචනය ප්‍රමාද කරවීමයි. නමුත් මෙම පෙති ලබාගැනීමෙන් කිසිවිටෙකත් ගබ්සාවක් සිදු නොවේ.

තවද, හදිසි උපත්පාලනය සඳහා වරකට පෙති කට්ටලයක් වශයෙන් හෝමෝන පෙති ලබාගැනීමේ ක්‍රමවේදයක්ද ඇත. අනාරක්ෂික ලිංගික එක්වීමකින් පසුව හැකි ඉක්මනින් මෙම හෝමෝන පෙති හතරක් එකට ගත යුතු අතර එයින් පැය 12 කට පසුව තවත් හෝමෝන පෙති හතරක් ලබාගත යුතුය. මේ හරහාද ඩිම්බයක් සංසේචනය වීම වැලැක්වීම හෝ ඩිම්බ මෝචනය ප්‍රමාද කරවයි.

හදිසි උපත් පාලනය සඳහා ගිලින පෙති භාවිතා කිරීමේදී ඇතිවියහැකි පොදු අතරු අබාධ වශයෙන්, ඔක්කාරය, වමනය, පියයුරුවල වේදනාව, හිසරදය, ඔසප් රුධිර වාහනයේ වෙනස්කම් ආදී තත්වයන් ඇතිවිය හැකිය. තවද, මෙම පෙති ලබාගැනීමෙන් පැය දෙකක් ඇතුළත වමනය ඇතිවුවහොත් නැවත පෙති ලබාගත යුතුවේ.

ගර්භාෂ අභ්‍යන්තරයට ඇතුල් කළහැකි හදිසි උපත්පාලන ක්‍රමවේද

ඉන්ට්‍රායුටෙරින් කොපර් ඩිවයිස් (Intrauterine Copper Device) මෙය ගර්භාෂයට ඇතුල් කළහැකි තඹ උපාංගයකි. IUCD හෝ ලුප් ආදී වශයෙන් හඳුන්වන මෙම උපාංගය හෝමෝන නොවන උපත්පාලන ක්‍රමවේදයක් වන අතර හදිසි උපත් පාලන ක්‍රමවේදයක් වශයෙන්ද භාවිතා කල හැකිය. මෙහිදී, අනාරක්ෂිත ලිංගික එක්වීමකින් දින 5ක් එනම් පැය 120 ක් ඇතුලත භාවිතා කිරීම යෝග්‍යවේ. මෙම ක්‍රමවේදය ඩිම්බය සහ ශුක්‍රාණු සංසේචනය වීම වළක්වන බැවින් අතිශය ප්‍රතිඵලදායක ක්‍රමවේදයක් වන බැවින් ගබ්සා වීමක් සිදු නොවේ. මෙම IUCD උපාංගය එක්වරක් ඇතුල්කළ පසුව වසර 10ක කාලයක් දක්වා තබාගත හැකිය.

මෙම උපාංගය ඇතුලත් කිරීමෙන් පසුව ඇතිවියහැකි පොදු අතුරු අබාධ වශයෙන් මද වශයෙන් ඇතිවන උදරයේ වේදනාව, උපාංගය ඇතුලත් කිරීමෙන් පසුව ඇතිවන රුධිර වාහන තත්වය සහ මාසික ඔසප් වීමේදී ඔසප් රුධිර වහනය වීමේ කාලසීමාව වැඩි වීමක් ද දැකිය හැකිය.

හදිසි උපත් පාලන ක්‍රම හරහා ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග සහ අසාදනවලින් ආරක්ෂා වීමක් සිදුනොවේ. එබැවින් ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ අවදානමක් තිබේ නම් UPSI උපාංගය තැන්පත් කිරීමෙන් පසුව සුදුසු වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගැනීම නිර්දේශ කෙරේ. හදිසි උපත් පාලන ක්‍රමවේද සැමවිටම ස්ථිර නොවන අතර ඔබගේ අනාගත සරුභාවය කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරයි. වසර ගණනාවක් පුරාවට හදිසි උපත් පාලන ද්‍රව්‍ය ලබාගැනීමට ඇති පහසුව, දැරියහැකි මිල සහ භාවිතයේ පහසුව යන හේතු මත ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇත. කෙසේ නමුත් හදිසි උපත් පාලන පෙති හදිසි අවස්ථාවලදී පමණක් භාවිතා කලයුතු බවත් සාමාන්‍ය උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතා නොකළ යුතු බවත් මතක තබා ගැනීම අතිශය වැදගත් වේ.

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By