මනෝ ප්‍රතිකාරය

මනෝවිද්‍යාවේ දියුණුවට මෙන් ම ජනප්‍රියභාවයට හේතු වු අංශයක් ලෙස මනෝ ප්‍රතිකාරය (psychotheraphy) හැදින්විය හැකිය. මනෝ ප්‍රතිකාර ශිල්ප ක්‍රමයන් බිහි වී ඇත්තේ මනෝවිද්‍යාවේ අන්තර්ගත වන න්‍යායන් තුලිනි. මනෝවිද්‍යාවේ ප්‍රතිකාරක අංශය සංවර්ධනය කිරීමට ශ්‍රෙෂ්ඨ මනෝවිද්‍යාඥයින් රැසකගේ දායකත්වය ලැබී තිබේ. ඒ අතුරින් ග්‍රික දාර්ශනියෙකු වු හිපොක්‍රටිස් වැදගත් වෙයි. හිපොක්‍රටිස්ට පසුව වෙනත් ග්‍රීක, රෝම හා අරාබි ජාතික වෛද්‍යවරුන් මෙම අංශය තවදුරටත් දියුණු කළ අතර, මෙම ක්‍රියාදමයේ වැදගත් සංධිස්ථානයක් වන්නේ 18වන ශත වර්ෂයේ විසු ඔස්ට්‍රියානු ජාතික ඇන්ටන් මෙස්මර් නම් වෛද්‍යවරයාගේ ප්‍රතිකාර ක්‍රමයයි. එකල මෙස්මරිසම් ලෙස හැදින්වුනු මෙම ක්‍රමය ක්‍රමයෙන් වර්ධනය වී අදවන විට ස්වාපනය හෙවත් මෝහනය ලෙස මනෝවිද්‍යාව තුල භාවිත වෙයි. ඊට පසුව මනෝ විද්‍යාව කේෂ්ත්‍රයේ විශාල පරිවර්තනයට හේතු වු මනෝවි‍ශ්ලේෂණවාදය සංවර්ධනය කළ සිග්මන් ෆ්‍රොයිඩ් නිසා මනෝවිද්‍යාව තුළ මනෝ ප්‍රතිකාරක අංශයේ ඉතා විශාල දියුණුවක් ඇතිවිය. මනෝවිද්‍යාවේ සිද්ධාන්ත හා මනෝප්‍රතිකාරක ක්‍රම ඒකාබද්ධ වීම ආරම්භ වුයේ ෆ්‍රොයිඩ්ෙග් සොයාගැනිම්වලට පසුවය.