වැඩිවිය පැමිණීම

ළමයෙකුගේ සිරුර වර්ගයා බෝ කළ හැකි පරිදි වැඩිහිටි සිරුරක් බවට පත්වීමේ කායික හා මානසික වෙනස්කම් සහිත ක්‍රියාවලිය මෙනමින් හැදින්වේ. මෙය ආරම්භ වන්නේ, මොළයේ සිට ප්‍රජනක අවයව (ඩිම්බ කෝෂ හා වෘෂණ) වෙත යවන සංඥා මගිනි.
මෙම ක්‍රියාවලිය ගැහැණු ළමයින්ගේ කලින්,එනම් වයස අවුරුදු 10-15 අතර ආරම්භ වන අතර  වයස අවුරුදු 18-20 දී අවසාන වෙයි. පිරිමි ළමයින්ගේ වයස අවුරුදු 12-14 අතර ආරම්භ වී වයස 25 පමණ වන විට අවසාන වෙයි.
සිදුවන කායික හා මානසික වෙනස්කම් ගැහැණුන් හා පිරිමින් අතර වෙනස් වෙයි.

ගැහැණු ළමයින්

කායික වෙනස්කම්

  • ශරීරය වඩාත් හැඩ වෙයි
  • උකුල පළල් වෙයි.
  • සම තෙල් සහිත බවට‍ පත් වෙයි.
  • අත්යට රෝම ඇතිවෙයි.
  • පියයුරු වැඩීම ආරම්භ වෙයි.
  • උකුල් අස්ථිය බරින් වැඩිවෙයි.
  • කකුලේ මාංශපේශී විශාල සහ වඩා ශක්තිමත් වෙයි.
  • ඉකිලිවල රෝම ඇති වෙයි – ඒවායේ ඉහල මායිම තිරස් ලෙස පිහිටයි
  • ඔසප් වීම ආරම්භ වෙයි
  • ඩිම්බ මෝචනය

මානසික වෙනස්කම්

  • ලිංගික ආශාව
  • තනිව සිටීමට ඇති කැමැත්ත
  • අත්හදා බැලීමට ඇති කැමැත්ත
  • කේන්ති යාම
  • තම මිතුරන් සමග එක්ව සිටීමට ඇති කැමැත්ත

පිරිමි ළමයින්

කායික වෙනස්කම්

  • බර වැඩි වීම
  • සම තෙල් සහිත වීම
  • උරහිස් පළල් හා හතරැස් වීම
  • මාංශපේශි විශාල සහ ශක්තිමත් වීම
  • කටහඩ ගැඹුරු වීම
  • ශිෂ්ණය විශාල සහ පළල් වීම
  • වෘෂණය විශාල වීම
  • රැවුල වැවීමට ආරම්භ වීම
  • රෝම වැඩීම
  • ඉකිලිවල රෝම ඇති වීම – ඉහල මායිම ත්‍රිකෝණාකාරව පිහිටීම
  • ශුක්‍රාණු නිපදවීම
  • නින්දේදී නොදැනුවත්ව ශිෂ්ණය ප්‍රාණවත් වීම
  • උකුල පටු වීම
  • පිට, අත් හා කලවා මත රෝම ඇතිවීම

මානසික වෙනස්කම්

  • පහසුවෙන් ලිංගික උත්තේජනය
  • සිතා නොබලා වැඩ කිරීම
  • අත්හදා බැලීමට ඇති කැමැත්ත
  • දැඩි ලෙස කේන්ති යාම
  • සම වයස් පිරිමි ළමයින් සමග කණ්ඩායම් වශයෙන් සිටීමට ඇති කැමැත්ත

ඔසප් වීම
ඔසප් වීම ආරම්භ වීම මල්වර වීම ලෙස හැදින්වේ. මෙය සිදුවන්නේ ගැහැණු ළමයින්ගේ ප්‍රජනන පද්ධතියේ අවයව සියල්ලම පරිණතභාවයට පැමිණ නිසි ලෙස සමස්තයක් ලෙස ක්‍රියාකරන විට පමණි.
මුල් මාස/අවුරුදු කිහිපය තුළ ඔසප් චක්‍රය ක්‍රමවත් නොවී ඔසප් චක්‍ර ක්‍රමවත් වීමට මද කලක් යනු ඇත. තවද, ආරම්භයේ දී රුධිර වහනයක් සිදුවුවද, ඩිම්බ මෝචනයක් සිදු නොවිය හැක.
පිටියුටරි ග්‍රන්ථිය මගින් ස්‍රාවය වන හෝර්මෝන මගින් උත්තේජනය වී ඩිම්බ කෝෂ‍යේ ඇති ඩිම්බ ආශ්‍රිත සෛල ඊස්ට්‍රජන් ස්‍රාවය කරයි.
ඊස්ට්‍රජන් ස්‍රාවය මගින් එන්ඩොමෙට්‍රියටම (ගර්භාශයේ ඇතුල් බිත්තිය) ඝන බවට පත් කරයි. ඩිම්බය පිටවන විට, ඩිම්බ කෝෂය මගින් ප්‍රොජෙස්ටරෝන් නම් දෙවන හෝර්මෝනයක් ස්‍රාවය කරයි. මේ නිසා ගර්භාෂය ආස්තරණය කරන පටල මෘදු බවට පත් වේ. ප්‍රොජෙස්ටරෝන් තව දින 14ක් දක්වා ස්‍රාවය වන අතර එම නිසා සංසේචනය වු ඩිම්බයක් තැන්පත් වන තෙක්, එන්ඩොමෙට්‍රියම එයට සුදානම් ව පවති. සංසේචනයක් සිදු නොවේ නම්, ප්‍රොජෙස්ටරෝන් හා ඊස්ට්‍රජන් මට්ටම් පහත වැටෙන අතර, ගර්භාෂය මගින් අමතර පටක ඉවත හෙලයි.රුධිරය, පටක සහ සංසේචනය නොවු ඩිම්බය යෝනි මාර්ගය හරහා ගර්භාෂ‍යෙන් ඉවත‍ට යයි. ඔසප්වීම නමින් හදුන්වන්නේ මෙම ක්‍රියාවලියයි.

ඔසප් චක්‍රය
ඔසප් චක්‍රය ගණනය කරන්නේ, එක් මාසයක රුධිර වහනය ඇරඹුණු දින සිට ඊළග මාසයේ රුධිරය වහනය වන පළමුවන දින දක්වායි. මෙය සාමාන්‍යයෙන් දින 28කි. නමුත් දින 21-35 අතර ඔසප් චක්‍රයන් සාමාන්‍ය ලෙස සැලකේ.

රුධිර  වහනය කොපමණ කලක් පැවතිය හැකිද?
සාමාන්‍යයෙන් ඔසප්වීමක් දින 3-5ක් අතර පවතින අතර, එය දින 2-7 දක්වාද පැවතිය හැක. ඔසප්වීමේ දී වහනය වන රුධිරය ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. සමහර පුද්ගලයන්ට ඔසප්වීමේ මුල් දින දෙක තුළ බඩරිදීම හෝ ඔක්කාරය ඇති විය හැක.

ඔසප්වීම පවතින අවස්ථාවේ දී ඇතිවන වේදනාව මැඩලීම සදහා කළ හැක්කේ කුමක් ද ?
සුලු වේදනාවන් සදහා පැරසිටමොල් භාවිත කරන්න. වේදනාව තදබල නම් වෛද්‍ය උපදෙස් කරා යන්න (මෙෆනමික් ඇසිඩ් වැනි ඖෂධයක් ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත). උණු වතුර බෝතලයක් යටිබඩ ප්‍රදේශයේ තැබීම මගින් ද යම් සහනයක් ලබාගත හැක.

ඔසප්වීම පවතින කාලසි‍මාව තුළ පිළිපැදිය හැකි සනීපාරක්ෂක පිළිවෙත් ‍මොනවාද ?

  • ඔබේ සනීපාරක්ෂක තුවා පැය හයකට වරක්වත් මාරු කරන්න.
  • ඔබ රෙදි භාවිත කරන්නේ නම්, ඵ්වා සෝදා අව්වේ වේලා, ඔබේ අනෙකුත් ඇදුම් සමග පිරිසිදු ස්ථානයක තබන්න.
  • මෘදු සබන් හා ජලය භාවිතයෙන් ලිංගේන්ද්‍රිය දවසට දෙවරක් සොදන්න.
  • ඔසප් කාල සීමාව තුළ ස්නානය කිරීමේ කිසිදු හානියක් නැත. පිරිසිදුකම සදහා ඔසප් කාල සීමාව තුළ ස්නානය අත්‍යවශ්‍ය වේ.

ඔසප්වීම ආශ්‍රිත ගැටලු සදහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවලදී ද ?
ඔසප්කාල සීමාව තුල, රුධිරය වහනය ඉතා අඩු, ඉතා වැඩි හෝ අක්‍රමවත් නම් හෝ දැඩි දිගු කාලීන වේදනාවක් දැනේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩා සුදුසුය.

ඔසප්වීම වන සමයේ ඇතිවන රෝග ලක්ෂණ

ඔසප්වීම ආශ්‍රිත කාල සීමාව ඇතුලත සමහර ගැහැණු ළමයින්ට කායික හා මානසික වෙනස්කම් අත්විදීමට සිදුවනු ඇත. ඵ්වා සමහරක් නම්

  • කුරුළෑ
  • බඩ පුරවා දැමීම
  • වෙහෙස
  • කොන්දේ වේදනාව
  • පියයුරු වේදනාව
  • හිස කැක්කුම
  • මල බද්ධය
  • පාචනය
  • කෑම රුචිය
  • විශාදය හෝ කලකිරිම
  • නුරුස්නාගතිය
  • මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමට අපහසු වීම
  • ආතතිය පාලනය කිරීමට අපහසු වීම

මේ සදහා ඇති පදනම කුමක් ද?
ඔසප්වීමෙන් පසු ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන (කාන්තාවන්ගේ ලිංගික හෝර්මෝන) වල ඉහළ යෑමක් සිදුවේ. නමුත්,ඔසප්වීමට මදකට පෙර, මෙම හෝර්මෝන මට්ටම් පහත වැටේ. මේ වෙනස්වන හෝර්මෝන මට්ටම් මේ ලක්ෂණ සදහා හේතු විය හැක.

සෞඛ්‍ය හා සනීපාරක්ෂාව
යෝනි මාර්ග‍යෙන් ස්‍රාවයක් පිටවීම
සමහර කාන්තාවන්ට අත්විදීමට සිදුවන කැසීමක් ඇති නොකරන, අවර්ණ, ගදසුවදක් නැති, කුඩා ප්‍රමාණයේ ස්‍රාවය සාමාන්‍ය තත්ත්වයකි. මේ සදහා ප්‍රතිකාර අවශ්‍ය නොවේ.
නමුත් මෙම ස්‍රාවය රුධිරය සමග මුසු වූ කහ පැහැයට හුරු, කිරි සුදු පැහැයට හුරු, කැසීමක් ඇති කරන හා ගදක් ඇති ස්‍රාවයක් නම්, වෛද්‍යවරයෙකු මුණගැසිය යුතුය.

සනීපාරක්ෂාව පවත්වාගන්නේ කෙ‍සේද ?

  • යට ඇදුම් – ලා පැහැති, කපුවලින් පමණක් නිමි යට ඇදුම් දිනපතා සෝදා, අව්වේ වේලා (විදුලි පංකාව යට නොව) ගත යුතුය.
  • වැසිකිලිය භාවිතය – මුත්‍රා කිරීම සදහා වැසිකිලියට යන විට, නිතිපතාම ලිංගේන්ද්‍රිය සෝදන්න. ඉන්පසු වියලි‍ රෙදි කඩකින් පිස දමන්න. උදෑසන හා රාත්‍රියේදී පමණක් ලිංගේන්ද්‍රිය සේදීම සදහා සබන් භාවිත ‍කරන්න. උණුවතුර භාවිත නොකරන්න. ලිංගේන්ද්‍රිය සේදීම සදහා  මෘදු සබන් වර්ගයක් භාවිතා කරන්න. සේදීම සදහා විෂබීජ නාශක භාවිත නොකරන්න.

කන්‍යා පටලය

මෙය යෝනි මාර්ගය පිටතට විවෘත වන ස්ථානයකට සෙන්ටිමීටර භාගයක් පමණ ඇතුලතින් පිහිටි ඉතා තුනී ඇදෙනසුලු (ලූණු සිවියක් වැනි) පටලයකි. මෙමගින් යෝනි මාර්ගය පිටතට විවෘතවන ස්ථානය ආවරණය කරනු ලැබේ.

සාමාන්‍යයෙන් පළමුවන ලිංගික සංසර්ගයේ දී මෙම පටලය විනාශ වී යයි. මෙහිදි රුධිරය ස්වල්පයක් පිටවිය හැක. ‍එසේම ඇගිලි හෝ වෙනත් ද්‍රව්‍යය යෝනි මාර්ගයට ඇතුළු කිරීම නිසා මෙයට හානි විය හැකිය.
සමහර කාන්තාවන්ට  උපතේදීම කන්‍යා පටලකයක් නොපිහිටයි. කන්‍යා පටලයක් තිබුනද,  සියලුම කාන්තාවන්ගේ පලමුවන සංසර්ගයේ දී රුධිරය පිට නොවිය හැක.

කන්‍යාභාවය

කන්‍යාභාවය යනු පළමුවන සංසර්ගයේ දී රුධිරය පිට කරන තැනැත්තිය‍ නොව, මීට පෙර කිසිම අවස්ථාවක ලිංගික සංසර්ගයක් සිදු කර නැති කාන්තාවකි.

කන්‍යා පටලය හා කන්‍යාභාවය සම්බන්ධව නිතර අසනු ලබන ගැටළු

පළමුවන සංසර්ගයේ දී වේදනාවක් ඇති වන්නේ ඇයි? එයට හේතුව කන්‍යා පටලය විනාශ වී යාම ද?

නැත. බිය හා සංසර්ගය සම්බන්ධව ඇති නොදැනුවත්කම මෙම වේදනාව ඇතිවීමට බොහෝ හේතුවේ. මේ හේතු නිසා කාන්තාව විසින් යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය සංකෝචනය කිරිම හේතුවෙන් යෝනි විවරය කුඩා වී ශිෂ්ණය ඇතුලු කිරිමේ දී වේදනාව ඇතිවේ.

කන්‍යාභාවයෙන් යුක්ත කාන්තාවකට ගැබ් ගැනීමක් සිදුවිය හැකිද?

ඔව්. ශ්‍රක්‍ර  තරලය යෝනි විවරය අවට තිබුණහොත්, ශුක්‍රාණු යෝනි විවරය තුලින් ඇතුලු වී යෝනි මාර්ගය, ගර්භාෂය හරහා පැලෝපිය නාල දක්වා ගමන් කල හැක. නමුත් මෙය ඉතා කලාතුරකින් සිදු වන දෙයකි.