ගර්භණීභාවය

ගර්භණීභාවය ඉතා ස්වභාවික තත්වයක් වන අතර, එය සෑම විටම කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වේ. නිශ්චිතව ම ඔබට මේ කාලයේ දී සිදු විය හැකි දේ පිළිබදව කලින් පැවසිය නොහැකි මුත්, සාමාන්‍යයෙන් ගර්භණී සමයේ දී ශරිරයේ ඇතිවන වෙනස්කම් පිළිබදව අවබෝධ කරගෙන ඒ සදහා සුදානම් වීම වැදගත්ය. පහත දැක්වෙන වෙනස්කම්වලින් කිහිපයක් හෝ සියල්ලම ඔබට අත් විදීමට සිදුවිය හැක.

පළමු මාස‍ තුනේ දී (1 වන සතියේ සිට 12 වන සතිය දක්වා)

  • මාසිකව සිදුවන ඔසප් වීම නතර වේ.
  • ඔක්කාරය හා වමනය
    මෙය බොහෝ කාන්තාවන්ට උදේ කාලයේ ඇතිවන නමුත් දවසේ ඕනෑම වේලාවක ඇතිවිය හැක.
  • පියයුරුවල පිරුණු බවක් ඇතිවන අතර ඒවා ස්පර්ශයේදී මද වේදනාවක් ඇති විය හැක. පියයුරුවල සම ඇදිම නිසා කැපීම් ඇතිවිය හැකි වන අතර සම ඇදීමෙන් ඇතිවන ඇදීම් සලකුණු දැකිය හැකි වනු ඇත.
    තනපුඩුව වටා සම(ඇරියෝලා)තද පැහැ ගැන්වේ.
    තනපුඩුව වටා ඇති තද පැහැ කොටසේ මොන්ටගොමරි නැමැති ග්‍රන්ථි විශේෂය ඇතිවන අතර ඒවා ඉහළට ඉලිප්පුනු කුඩා ඉදිමීම් ලෙසින් දැකිය හැකිවේ.
  • මුත්‍රා පිට කිරිමට අවශ්‍ය වන වාර ගණන වැඩිවේ.
  • ඇගට වෙහෙස ගතියක් ඇතිවේ.
  • බඩේ දැවිල්ල ඇතිවේ
  • කිසිදු විශේෂ හේතුවක් නොමැතිව සතුට, දුක හෝ කේන්තිය වැනි මානසික තත්ව ඇතිවේ. මේ තත්ව නිතර වෙනස්වන සුලුබව දැකිය හැක.
  • සමහර ආහාර ද්‍රව්‍ය සදහා වැඩි කැමැත්තක් ඇතිවේ.

 

දෙවන මාස තුනේ දී (සති 13 සිට 26 දක්වා)

  • සිරුරේ බර වැඩිවීම සිදුවේ.
  • දරුවා ගර්භාෂය තුළ චලනය වනු දැනේ.
  • උදරයේ සම ඇදීම නිසා, වියලි ගතියෙන් යුක්තවේ.
  • පියයුරුවල ප්‍රමාණය විශාලවේ.
  • මල බද්ධය හා අර්ශස් වැනි තත්ව ඇතිවේ.
  • බඩේ දැවිල්ල ඇතිවේ.
  • පතුල්, විලුඔ, මුහුණ හා දෙඅත් ඉදිමීම
  • කකුල් වල ඇතිවන කෙන්ඩා පෙරලීම් – විශේෂයෙන් රාත්‍රී කාලයේ දී ඇතිවේ.
  • යෝනි මාර්ගයෙන් ස්‍රාවයන් පිටවීම

අවසාන මාස තුන ( සති 27 සිට 40 දක්වා)

  • ගර්භාෂය තුළ දරුවාගේ චලන වැඩිපුර දැනේ.
  • නාභිය පිටතට නෙරා ඵයි
  • පිට කොන්දේ වේදනා අධිකවේ.
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • නියමිත කාලයට පෙර දැනෙන, ප්‍රසවයේ දී දැනෙන සංකෝචන වැනි දැනීම් (Braxton Contractions) ඇතිවේ.
  • යටි බඩ වේදනා
  • සම ඇදිම නිසා ඇතිවන සලකුණු
  • නින්ද නොයාම
  • කකුලේ නහර ගැටගැසීම

 

ගර්භනී සමයේ ඔබට ඇතිවිය හැකි ගැටලු

ගර්භනී සමයේ දී පියයුරුවල ඇතිවන වේදනාවන්ට විසදුම කුමක් ද ?

හොදින් පියයුරු දරා සිටින, ඉතා තද නොවු යට ඇදුමක් භාවිතා කරන්න.

උදය කාලයේ දී හා ඇතැම් විට දිවා කාලයේදීත් ඔබට වමනය කිරිමේ අවශ්‍යතාවය ඇතිවේ. එය වලක්වා ගන්නේ කෙසේ ද ?

  • උදෑසන අවදී වී ඇදෙන් බැසීමට පෙර විනාඩි 15ක් පමණ සිටින්න.
  • නිතර නිතර, වරකට කුඩා ප්‍රමාණය බැගින් ආහාර ගන්න.
  • ආහාර ‍වේල් අතරතුර ජලය පානය නොකරන්න. ආහාර වේල් අවසානයේ දී පමණක් ජලය පානය කරන්න.
  • වැඩි වශයෙන් තුනපහ, මිරිස් දැමු ආහාර ගැනීම හා තෙල් අධික ආහාර ගැනීම අඩු කරන්න

බොහෝ වේලාවට මට අධික වෙහෙසක් දැනේ. ඉන් මිදීමට මා කුමක් කළ යුතුද?

  • සියලු පෝෂ්‍ය පදාර්ථ අඩංගු සමබල ආහාර වේලක් අනුභව කරන්න.
  • ඔබට අදාළ සියලු කාර්යයන් තනිවම ඉටු කිරිමට නොගොස් පවුලේ සාමාජිකයන්ගේ හා මිතුරන්ගේ සහාය එයට ලබාගන්න. වැඩ නිසා අධික වෙහෙසට පත්වීමෙන් වලකින්න.
  • පළතුරු, එළවථ හා පළා වර්ග වැනි තන්තු අධික ආහාර නිතර භාවිත කරන්න. මෙය මල බද්ධය වැලැක්වීමට මෙන්ම, එය වැළදුනු පසු ඉන් ස්‍රාවයන් ලබාගැනීමට ද උපකාරි වේ.

මගේ උගුරේ දැවිල්ල ගතියක් පවතී. මා එයින් මිදෙන්නේ කෙසේද?

  • නිතර කුඩා ආහාර වේල් ලබාගන්න. ආහාර එකවර නොගෙන සෙමින් ආහාර ගන්න.
  • උණු හා අධික ලෙස තුනපහ, මිරිස් දැමු ආහාර ගැනීමෙන් වලකින්න.
  • ආහාර ගන්නා අතරතුරේ හෝ ආහාර වේල් සමග ජලය පානය නොකරන්න. පළමුව ආහාර ගැනීම නිමවා ඉන්පසු පමණක් ජලය පානය කරන්න.
  • හිද ගැනීමේ දී හා නිදාගැනීමේ දී හිස, කදට වඩා උස්ව තබා ගැනීමට වගබලා ගන්න.
  • ආහාර වේලකට පසු නිදා ගැනීමෙන් වලකින්න.
  • මෙම කරුණු අනුගමනය කිරිමෙන් පසුත්, ඉහත දැක්වු තත්වය දිගටම පවතී නම්, වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබාගන්න.

සමහර අවස්ථාවල දී මට හුස්ම ගැනීමේ අපහසුතා දැනේ. ඒ තත්වයෙන් මිදීමට මා කුමක් කල යුතුද?

  • නිදාගැනී‍මේදී හිස උස්ව තබා ගන්න. (අමතර කොට්ට භාවිත කිරීම මගින්)
  • වැඩ කරන අතරතුරේ දී විවේකයක් ලබාගන්න. හුස්ම ගැනීමේ අපහසුතා දැනෙන‍ සෑම අවස්ථාවකම විවේක ගන්න.
  • විශාල වශයෙන් සෙනග ගැවසෙන ස්ථානවල රැදී සිටිමෙන් වලකින්න.
  • රෝග ලක්ෂණ දිගට ම පවතී නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

වෙනදාට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා කිරිමට මට සිදුවේ. එයින් මිදීමට මා කුමක් කළ යුතුද?

  • ගර්භාෂය වැඩීම/විශාලවීම නිසා ඇතිවන පීඩනය නිසා හා මුත්‍රා රදවා ගැනීමට මුත්‍රාශ්‍රයට ඇති ඉඩකඩ සීමාවීම   නිසා මෙම තත්වය ඇතිවේ. මේ සම්බන්ධව කනගාටු නොවන්න.
  • මේ හේතුව නිසා ජලය හා පාන වර්ග ගැනීම කිසි විටෙකත් සීමා නොකරන්න.
  • මුත්‍රා දැවිල්ල පවතීනම් වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.

මගේ දෙපා ඉදිමී ඇති අතර එයට කුමක් කළ යුතුද?

  • හිද සිටින විට හා හාන්සි වී සිටින විට දෙපා ඉහලින් තබාගන්න.
  • නිදාගැනීමේ දී සෑමවිට ම වම් පසට හැරි නිදාගන්න.
  • ක්‍රමවත්ව ව්‍යායාමයේ යෙදෙන්න. වඩාත් හොද ව්‍යායාමය වන්නේ ඇවිදිමයි.
  • ලුණු අධික ආහාර ගැනීමෙන් වලකින්න. (අල පෙති වැනි ක්ෂනික ආහාර)
  • දෙපා අධික ලෙස ඉදිමේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

මා ගැබ් ගෙන ඇති බව දැන ගන්නේ කෙසෙ‍් ද ?

  • මෙහිදී මුලින් ම දැනෙන දේ නම් මාසික ඔසප්වීම සිදු නොවුනු බවයි. ගර්භනී භාවයේ අනෙක් සියලු ලක්ෂණ මෙයට පසු ඇතිවේ.
  • ඔසප්වීම නතර වු පසු හෝ නතර වීමට දින කීපයකට පෙර රුධිර පරික්ෂණයක් (serum hCG) මගින් ගර්භනීභාවය තහවුරු කළ හැක.
  • ඔසප්වීම නතර වී සතියකින් පසු නිවසේ දී ම වුවද කළ හැකි මුත්‍රා පරික්ෂණයකින් (මුත්‍රා hCG මට්ටම) මේ බව දැන ගත හැකිය.
  • යෝනි මාර්ගය ඔස්සේ සිදු කරන ස්කෑන් පරික්ෂණයකින් ද ගර්භනීභාවය තහවුරු කරගත හැකිය.

ගැබ්ගත් පසුව කළ යුත්තේ කුමක් ද ?

ඔබට විසදා ගත යුතු ගැටලුවක් නැතිනම් වහාම වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යාවශ්‍යය. ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව හමු වී පුර්ව ප්‍රසව සායනයේ ගර්භනී සටහන් පත ඇගෙන් ලබා ගන්න. රජයේ රෝහලක පුර්ව ප්‍රසව සායනයක ලියාපදිංචි වීම සදහා මෙම සටහන් පත අවශ්‍යවේ. දරු ප්‍රසුතියට මාස 2-3 කට පෙර, රෝහලේ පැවැත්වෙන සායනයට සහභාගි විය යුතුය. ඔබේ ගර්භනීභාවයේ ආරක්ෂික බව හෝ අවදානම් බව සලකා බලා වෛද්‍යවරුන් විසින් නැවත සායනට පැමිණිය යුතු දිනය ඔබට දැනුම් දෙනු ඇත.

ගර්භනී සමය අලුත් කෑම වර්ග අත්හදා බැලීමට සුදුසු කාලයක් නොවේ. ඔබට හුරුපුරුදු ආහාර වර්ග පමණක් භාවිත කරන්න. නුපුරුදු නව ආහාර වර්ග අනුභවයෙන් වලකින්න.

ගර්භනී මාස නවය තුළ ඔබගේ බර ක්‍රමයෙන් වැඩිවනු ඔබට දැකිය හැකිය. මෙම වර්ධනය මසකට 2kg පමණ බැගින් මේ. පුර්ව ප්‍රසව සායනයේ දී ඔබගේ බර මැන බලන අතර, යම් ගැටලුකාරි තත්වයක් ඇතිනම් සායනයේ කාර්ය මණ්ඩලය ඒ පිළිබදව ඔබව දැනුවත් කරනු ඇත.

හැකිතාක් දුරට සැහැල්ලු ඇදුම් අදින්න.

ඔබ පහසුවෙන් විවිධ ආසාදන වලට ගොදුරු වියහැකි නිසා වැඩිපුර සෙනග ගැවසෙන ස්ථානවලට යාමෙන් වලකින්න.

ගර්භනී මාතාවන්ට නිතර කරන පරික්ෂණ මොනවා ද ?

  • මුත්‍රා පරික්ෂණය ( Urine full report)
  • රුධිරයේ හිමොග්ලොබින් මටිටම -
    මෙමගින් ඔබට රක්තහීනතාවයක් ඇත්දැයි බලාගත හැක. සාමාන්‍ය හිමොග්ලොබින් මට්ටම 11g/dL වන නමුත් ගර්භනී සමයේ දී මෙම අගය මීට වඩා මදක් අඩු විය හැක.
  • රුධිරයේ ග්ලුකොස් පරික්ෂාව -
    ආහාර ගැනීමෙන් පැය 2කට පසු මෙම පරික්ෂණය සිදු කරනු ලැ‍බේ (PPBS). ග්ලුකොස් මට්ටමේ යම් වෙනසක් ඇත්නම් එය ස්ථිර කර ගැනීමට තවත් රුධිර පරික්ෂා සිදු කෙරේ.
  • රුධිර ගණය
  • VDRL- උපදංශය සදහා කරන පරික්ෂණය
  • ස්කෑන් පරික්ෂණ -
    සමහර විට ස්කෑන් පරික්ෂණයක් මගින් ගර්භාෂය තුළ දරුවාගේ තත්වය, කළල සංඛ්‍යාව (නිවුන් දරුවන් ඇත් ද යන වග), වැදෑමහ පිහිටි ස්ථානය හා ඇම්නියෝටික තරල ප්‍රමාණයේ ප්‍රමාණවත්බව ආදිය පරික්ෂා කරනු ලැබේ.

ගර්භනී සමය තුළ ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකිද?

ගර්භනී සමය තුළ ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකි නමුත් එහිදි ගර්භනී මවට අපහසුතා ඇති නොවන බවට වග බලා ගත යුතුය. මෙවැනි අපහසුතා, විශාල වු උදරය හා දරුවාට හානි සිදුවේ යැයි ඇති බිය නිසා ඇතැම් අය ‍මේ කාලය අතරතුරේ දී සංසර්ගයෙන් තොර ලිංගික  සම්බන්ධතා පමණක් පවත්වා ගනියි.

ඔබ කළ යුතු ව්‍යායාම මොනවා ද ?

ගර්භනී සමයේ කළ හැකි හොදම ව්‍යායාමය ඇවිදීමයි. මෙය ප්‍රසුති අවස්ථාව පහසු කරගැනීමට ද උපකාරිවේ. තවත් ඉතා යෝග්‍ය ව්‍යායාමයක් වන්නේ පිහිනීමයි. දැඩි අව් රශ්මිය පවතින අවස්ථාවල එළිමහනේ ව්‍යායාම කිරිමෙන් වැලකීම සුදුසුය.

ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කුමන අවස්ථාවලදීද ?

ඔබට පහත දැක්වෙන අවස්ථාවකට මුහුණ දීමට සිදු වූයේ නම් වහාම ඔබගේ වෛද්‍යවාරයා හමුවන්න.

  • රුධිර වහනයක් (යෝනි මාර්ගයෙන්)
  • එකවරම යෝනි මාර්ගයෙන් තරල පිටවිමක් සිදුවුවහොත්
  • භ්‍රෑණ චලන දැකිම ඇරඹිමෙන් පසු යම් අවස්ථාවක දරුවා චලනය වීම අඩු වී ඇති බවත් හැගුනහොත්
  • පැයකට තුන් වරකට වඩා වැඩි ගර්භාෂ සංකෝචනයන් ඔබට දැනේ නම්
  • දැඩි හිසේ කැක්කුමක්
  • අධික වමනය
  • උදරයේ අධික වේදනාව
  • අධික උණගතිය

 

ගර්භනී සමයේ ඇති වන රක්තහීනතාවය
මේ සදහා හේතු වන්නේ ගර්භනී මවකගේ යකඩ අවශ්‍යතාවය සාමාන්‍ය කාන්තාවකට වඩා වැඩිවීමයි. ඔබට කරකැවිලි ගතියක්, හිසේ කැක්කුම, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිනම් හෝ ඔබ සුදුමැලි වී ඇති බවත් දැනේ නම් ඔබට ද රක්තහීනතාවය පැවතිය හැක. ඉක්මණින් කළ හැකි රුධිර පරික්ෂාවක් මගින් ඔබට නීරක්තිය ඇති නැති බව තීරණය කිරිමට ඔබගේ පවුලේ වෛද්‍යවරයාට හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවට හැකිය.

රතු පැහැ මස් වර්ග, මාලු, කොළ පැහැති ආහාර, ඇට වර්ග, රනිල බෝග ආදිය යකඩ බහුල ආහාරවේ. එසේ ම අමතරව ශරීරයට යකඩ ලබා ගත හැකි ආකාර පිළිබද ඔබගේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්වේ.

ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව
රුධිරයේ සීනී මට්ටම ඉහළ යාම, ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව පෙන්වන ලක්ෂණයකි. නමුත් මෙම තත්වය නිශ්චිතව හදුනා ගැනීමට හැක්කේ පුර්ව ප්‍රසව සායනයක දී සිදු කරන පරික්ෂණ මගිනි. ඔබට දියවැඩියාව ඇතිවීමේ වැඩි අවදානමක් ඇතැයි ඔබේ වෛද්‍යවරයාට හැගී ගියහොත්, සති 26-28 අතර කාලයේ දී ඔබව glucose tolerance test නම් (ග්ලුකෝස් පානය කිරිමෙන් පසු රුධිර සීනී මට්ටම මැන බැලීම) පරික්ෂණයට යොමු කරනු ඇත.

ගර්භනී සමයේ ඇතිවන වෙනත් අතුරු ඵල

නහර ගැටගැසීම හා සමේ තැනින් තැන ඇතිවන චර්ණ වෙනස්කම් මේ අවධියේ සුලබයි. මෙම තත්වයන් මවට හෝ දරුවාට කිසිදු බලපෑමක් ඇති ‍නොකරයි.

මුත්‍රා මාර්ගයේ ආසාදන, ගර්භනී කාලය තුළ දී සුලබ නමුත් මේ කාලයේ ඇතිවන ශාරීරික වෙනස්කම් හේතුවෙන් මුත්‍රා ආසාදනයක රෝග ලක්ෂණ පිටතට නොපෙනී සැග වී යා හැක. නමුත් මුත්‍රා ආසාදන යනු අනිවාර්යයෙන් ම ප්‍රතිකාර ලබාගත යුතු අවස්ථාවකි. එයට හේතුව, මුත්‍රා ආසාදන සමහර අවස්ථාවල දී නියමිත කාලයට පෙර දරු උපත් ඇති වීමට බලපාන බැවිනි.

මෙම කායික හා මානසික වෙනස්විම් කාන්තාවකගෙන් කාන්තාවට ද යම් කාන්තාවන්ට ප්‍රසුතියෙන් පසුවද වෙනස්වේ. සාමාන්‍යයෙන් ඔබේ සිරුර එයට ම සුවිශේෂ ආකාරයකට ගර්භනීභාවයේ වෙනස්විම් වලට ඔරොත්තු දීමට හැකි ලෙස සැකසී ඇත. එනමුත් ඔබට යම් ගැටලුකාරි තත්වයක් මතු වුවහොත් වෛද්‍යවරයාගෙන් හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් උපදෙස් ලබාගන්න. ඔබ ගර්භනීබව සම්බන්ධයෙන් දැනුවත් වන තරමට ම ඔබගේ මනස සැහැල්ලු වන අතරම, එය ඔබගේත් ඔබ දරුවාගේත් යහපත පිණිස හේතුවේ.

 

ප්‍රසුතියෙන් පසු ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කිනම් අවස්ථාවලදීද?

ඔබ දරුවා සමග නිවසට පැමිණි පසු පහත දැක්වෙන යම් ගැටලුවක් ඇති වී නම් පවුල් සෞඛ්‍ය සේවිකාව ‍හෝ දරුවාගේ වෛද්‍යවරයා හමුවන්න.

දරුවා සම්බන්ධ ගැටලු

  • හුස්ම ගැනීමේ අපහසුතා
  • හොදින් කිරි උරා නොබීම
  • අධික උණ
  • පෙකණිය ප්‍රදේශය රතු පැහැ ගැන්වීම හෝ කහ පැහැයට හුරු ස්‍රාවයක් පිටවීම
  • දිනකට පැය 20කට වඩා නින්දේ පසුවී හෝ කිරි බීම සදහාවත් අවදි ‍නොවිම
  • දරුවා මුත්‍රා පිට කිරිම අඩුවිම

මව සම්බන්ධ ගැටලු

  • පියයුරුවල වේදනාව හෝ රතු පැහැ ගැන්විම
  • උදරයේ වේදනා
  • මුත්‍රා දැවිල්ල
  • වටපිය කැපුම (episiotomy) දැමු ප්‍රදේශයේ සම රතු වීම හෝ කහ පැහැ ස්‍රාවයක් පිටවිම
  • කකුල් රත් පැහැ ගැන්වීම හෝ පාදයේ ඇතිවන වේදනා

 

ප්‍රසුතියෙන් පසු වඩාත් ගැලපෙන පවුල් සැලසුම් ක්‍රමය කුමක් ?

  •  උපත් පාලන ගිලින පෙති   කිරි දෙන මවක් නම් – ප්‍රසුතියෙන් මාස 6ක‍ට පසු
  •  සම යටින් තැන්පත් කරන හෝමෝන කරල් (Implant) හෝ එන්නත්- ප්‍රසූතියෙන් සති 6කට පසු
  •  ගර්භාෂය තුළ තැන්පත් කරන කුඩා උපකරණ – ලුපය (IUD) ප්‍රසුතියෙන් සති 6කට පසු
  •  ස්ත්‍රී වන්ද්‍යාකරණ (LRT) – දරු උපතින් පැය 48ක දක්වා සිදු කල හැක. නැතහොත් ප්‍රසුතියෙන් සති 6කට පසු ඕනෑම අවස්ථාවක දී මෙය සිදු කළ හැක. තව ද සිසේරියන් සැත්කමින් දරුවා බිහි කළ විගස වුවද ස්ත්‍රී වන්ද්‍යාකරණය සිදු කෙරේ.

දරු ප්‍රසුතියෙන් පසු ඔබට අත් දැකීමට ලැබෙන වෙනස්කම් කිහිපයකී.

  •  Lochia- ඔබේ ගර්භාෂය ආස්තරය කල පටක Lochia නමින් හැදින්වෙන ස්‍රාවයක් ලෙස පිටව යනු ඇත. එය ඔබේ ආර්තවයට සමාන වන නමුත්, සාමාන්‍ය ආර්තවයකට වඩා වැඩි රුධිර වහනයක් මෙහිදී සිදුවේ. මෙම ස්‍රාවය දීප්තිමත් රතු පැහැයෙන් ඇරඹී, රතු-දුඹුරු පැහැයට හැරී පසුව රත් පැහැයට හුරු සුදු පැහැයක් ගනු ඇත. මෙම ස්‍රාවය සති 2-3ක් යන තෙක් පවතින අතර, එය සති හතර ඉක්මවා පැවතුනහොත් ඔබේ වෛද්‍යවරයාට හො පවුල් සෞඛ්‍ය සේවිකාවට දැනුම් දෙන්න.
  •  ලිගේන්ද්‍රියන්
    දරු ප්‍රසුතියෙන් ඔබගේ යෝනි විවරය යම් ඇදීමකට ලක් වුයේ නම් දින කිහිපයක් දක්වා එය රිදුම් දෙනු ඇත. වටපිය කැපුමකට පසු ඔබට මැහුම් දැමුවේ නම්, ඒවා සුව වන තෙක් ඔබට යම් අපහසුතාවයක් දැනෙනු ඇත. උණු ජලයෙන් ස්නානය කිරිමෙන් මෙම වේදනා මදක් අඩු වී යනු ඇත.
  •  පියයුරු
    දරු ප්‍රසුතියෙන් දින තුන හතරකට පසු ඔබගේ පියයුරු කිරිවලින් පිරී යනු ඇත. මෙයින් ඔබට යම්කිසි අපහසුතාවයක් ඇති වුවද සාමාන්‍ය පරිදි නිවැරදිව මව්කිරි දීම ස්ථාපිත වු පසු එම තත්වය මග හැරි යයි. එසේ නොවුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය.

කිරිදෙන මව්වරුන්ට උපදෙස් ලබාදීමට විශේෂයෙන් පුහුණු වු හෙදියන් සෑම රෝහලකට ම අනුයුක්ත කර ඇත. ඔබ දරුවා සමග නිවසට පැමිනි පසු මව්කිරි දීම සම්බන්ධව ඇතිවන යම් ගැටලුවක් වේ නම්, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව වෙත එය යොමු කළ හැකිය.

ඔබ මව්කිරී නොදෙන්නේ නම්, හොදින් පියයුරු දරා සිටීමෙහි සමත් යට ඇදුමක් ඇදිමෙනුත්, තෙත පිරිසිදු රෙදි කැබලි පියයුරු මත තබා සිටිමෙනුත් පියයුරු කිරි වලින් පිරිම නිසා ඔබට ඇතිවන අපහසුතා සමනය කරගත හැකි වනු ඇත. සාමාන්‍යයෙන් මෙම අපහසුතා දිනකට හෝ දෙකකට වඩා නොපවතී.

මව්කිරි දීම  – එහි ඇති ප්‍රයෝජන

  •  දරුවාට
  1. මව්කිරිවල ඇති විෂබිජ නාශක ගුණය නිසා, මව්කිරි බොන ළදරුවන් අන් දරුවන්ට වඩා අඩුවෙන් කනේ ආසාදන, ශ්වසන පද්ධතියේ ආසාදන, අසාත්මිකතා, පාචනය හා වමනය යන තත්වයන්ට ගොදුරු වන අතරම රෝග වැළදුන ද එයින් ඇතිවන බලපෑම අඩුවේ.
  2. මව්කිරි, අලුත උපන් ළදරුවාගේ සංවේදී ආහාර ජීරන පද්ධතියට ගැලපෙන ලෙස සැකසී ඇත. එහි අඩංගු ප්‍රො‍්ටීන් හා ලිපිඩ වල සංයුතිය ඔබගේ දරුවාගේ අවශ්‍යතාවලට සරිලන ලෙස විශේෂයෙන් ම පිළියෙල වී ඇත. මේ හේතු නිසා මව්කිරි පහසුවෙන් ජිරණය වන බැවින් එයින් මල බද්ධය ඇති‍වීමේ ප්‍රවණතාවය අඩු කරයි.
  3. වැඩෙන දරුවාගේ අවශ්‍යතා අනුව මව්කිරිවල සංයුතිය නිරන්තරයෙන් වෙනස්වේ. දරුවාගේ නිසි වර්ධනයට සරිලන ප්‍රෝටින්, මේද, විටමින, ඛනිජ ලවන, එන්සයිම හා සිනීවර්ග සංයුතියක් මව්කිරිවල ඇත.
  4. මව්කිරි දුන් දරුවන්ට ඉහල බුද්ධි මට්ටමක් හිමිවේ.
  5. මව්කිරි දීම මගින් මව හා දරුවා අතර බැදීම දැඩිවේ.

 මවට

  1.  දරු ප්‍රසුතිය සිදු වු විගසම මව්කිරි දීම ආරම්භ කිරිම, ගර්භාෂය නිසි ලෙස සංකෝචනය වීමට උපකාරිවේ. එමගින් ප්‍රසුතියෙන් පසු ඇතිවන රුධිර වහනය අවමවේ.
  2.  ප්‍රසුතියෙන් පසු මාස 6ක් වත් මව්කිරි දීමෙන් කාන්තාවන්ගේ ආර්තවහරණයට පෙර ඇතිවන පියයුරු පිළිකා වැළදිමේ අවදානම අඩුවේ.
  3.  මව්කිරි දුන් කාන්තාවන් අතර ඔස්ටියෝපොරෝසිස් හා ගැබ් ගෙල පිළිකා විරලය.
  4.  මව්කිරි දෙන කාලය තුළ (පළමු මාස 6 තුල) දී නැවත දරුවෙකු පිළිසිද ගැනීමේ හැකියාව අඩුය.
  5.  තම දරුවාගේ පෝෂණ අවශ්‍යතා තමා විසින් පමණක් සම්පුර්ණ කිරිම බොහෝ මව්වරුන්ගේ ස්වයං තෘප්තියට හේතුවන කරුණකී.
  6.  දරු උපතින් පසු හැකි ඉක්මණින් ම මව්කිරි දීම ඇරඹිය යුතුය. පළමුවෙන් ස්‍රාවය වන කොලස්ට්‍රම් කහ පැහැ කිරිවල හොදම පෝෂණ ද්‍රව්‍ය අඩංගුවේ. කිරි දීමට නියමිත වේලාවක් හෝ කාලසටහනක් ‍නොමැත. දරුවාට කුසගිනි ඇතිවන ඕනෑම අවස්ථාවක මව්කිරි ලබාදිය හැක.

මව්කිරි දීම නැවැත්විය යුත්තේ කුමන අවස්ථාවක ද ?

කිරි දිම නැවැත්වීමට නියම කාල සීමාවක් නැත. දරුවාට වයස මාස 6 නිමවන තෙක් මව්කිරි පමණක් ලබාදිය යුතුය. අවම වශයෙන් ජලය හෝ පළතුරු යුෂ වැනි එකක්වත් මේ මාස 6 ඇතුළත් දරුවාට ලබා නොදිය යුතුය. ඉන්පසු අමතර ආහාර ලබා දීමත් සමගම ක්‍රම ක්‍රමයෙන් මව්කිරි දීම නැවැත්විය හැක.

  • අවශ්‍ය තරම් මව්කිරි නොමැති විට කළ යුත්තේ කුමක් ද?

දරුවා කිරි උරා බොන තරමටම නැවත මවට කිරි ස්‍රාවය වන බව සිහි තබා ගත යුතුය. කෙසේ වුවත් මේ සම්බන්ධව ගැටලුවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩා සුදුසුය. මව්කිරි දීමේ දී පියයුරු දෙකම මාරුවෙන් මාරුවට ඒ සදහා යොදාගත යුතුය.

ගැබිනි මවට වටිනා සෞඛ්‍ය උපදෙස් කිහිපයක්

  1.  අත්‍යාවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය සියල්ල අඩංගු සමබල හා පෝෂ්‍යද්‍රයි ආහාර වේලක් ගැබිනි මවක් විසින් අනිවාර්යයෙන් ම ලබා ගත යුතුය. (එළවළු, පළතුරු, මාලු, මස්, බිත්තර, යෝගට්, වෙනත් කිරි ආහාර හා රනිල බෝග)
  2. සෑම මවක් ම අනිවාර්යයෙන් ම ලබාගත යුතු විටමින් (‍ෆෝලික් අම්ලය) ඛනිජලවන (යකඩ හා කැල්සියම්) එන්නත් (පිටගැස්ම) පණු ප්‍රතිකාර ආදිය ලබාගන්න.
  3. ක්‍රමවත් ව නොවරදවාම පුර්ව ප්‍රසව සායනයකට යන්න.
  4. මනස සැහැල්ලුවෙන් තබාගන්න.
  5. ජලය පානය වැඩිකරන්න. අවම වශයෙන් දිනකට විදුරු 10ක් වත් ලග තබා ගත යුතු අතර පළතුරු යුෂ ආදි අනෙකුත් පානයන් ද මේ කාලයේ දී නිර්දේශ කෙරේ.
  6. ඇවිදීම ගැබිනි මවකට සුදුසු ම ව්‍යායාමයයි. අනෙකුත් ව්‍යායාම කිරිමේදී සුදුසු පුද්ගලයෙකුගේ අධීක්ෂණය අවශ්‍යය.
  7. දුම් පානය කරන පුද්ගලයන්ගෙන් ඈත්ව සිටින්න. අක්‍රීය දුම්පානය පවා දරුවාට යම් සංකුලතා ඇති කරයි.
  8. තීන්ත වර්ග, පිරිසිදු කාරක, කෘමි නාශක හෝ ස්ප්‍රේ වර්ග භාවිත නොකළ යුතු අතර ඒවා ආශ්වාස කිරීමෙන් වළක්වා ගත යුතුය.
  9. නිරන්තරයෙන් ම ඔබේ බර වැඩි වීම ගැන සුපරික්ෂාකාරි වන්න.
  10. දරුවන් අතර නියමිත පරතරයක්  තබාගැනිම ඔබගේත් දරුවාගේත් සෞඛ්‍ය සම්පන්න බවට උපකාරිවේ. ඔබගේ සහකරු සමග සාකච්ජා කර මීළග දරු උපත් සැලසුම් කරගන්න. ඒ දක්වා අවශ්‍ය පවුල් සැලසුම් ක්‍රම සම්බන්ධව ඔබේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් උපදසේ ලබාගන්න.

පියවරුන් සදහා වැදගත් වන සෞඛ්‍ය කරුණු කිහිපයක්

  1.  තම බිරිද ගැබ්ගැනීමත් සමග අලුත් වගකීම් රැසක් ජිවිතයට එකතුවේ. බිරිදත් සමග  නිතර කතාබහ කරන්න. ඇගේ අපෙක්ෂා හා සාංකා සම්බන්ධව සාකච්ජා කර, ඇය වෙනුවෙන්/ඕනෑම උපකාරයකට ඔබ සිටින බව ඇයට දැනෙන්නට හරින්න.
  2. ඔබේ බිරිද, ඔබගේ දරුවා දරා සිටියි. ඒ අතරම ඇය බොහෝ කායික මානසික වෙනස්වීම් වලට මුහුණ දෙන නිසා ඇයට කරුණාවන්ත වන්න. ඇයව ඉවසීමට පුරුදු වන්න.
  3. මවගේ චිත්ත ‍ස්වභාවයන් දරුවාට ද, දැනෙන බැවින්, ඔබ බිරිදව නිතර සතුටින් හා සැහැල්ලුවෙන් තබන්න.
  4. ගර්භනී සමය තුළ ඇගේ කටයුතුවලට ඔබත් සහාය දක්වන්න. ඇයත් සමග වෛද්‍යවරයා හමුවීමට යාම, ඇය හා දරුවාට අවශ්‍ය දේ ගැනීමට සාප්පු සවාරි යාම ආදි කටයුතුවලට සහභාගි වන්න.
  5. ඔබේ බිරිද තමා හා දරුවා යන දෙදෙනා ම වෙනුවෙන් ආහාර ගත යුතු නිසා පෝෂ්‍යදායි ආහාර ගැනීමට ඇයව දිරිමත් කරන්න.
  6. ඇයට සුදුසු ම ව්‍යායාමය ඇවිදිම වන නිසා, ඇයත් සමග ඇවිදීමට කාලය යොදා ගන්න.
  7. සුපුරුදු පරිදි ගෙදර දොර වැඩ කටයුතු කිරිම ඇයට අපහසු විය හැකි නිසා සෑමවිටම ඔබේ සහාය ඇයට ලබාදෙන්න.
  8. දුම්පානය ඔබේ බිරිදට හා දරුවාට හානිදායක බැවින් දුම් බීමෙන් වලකින්න.
  9. මත්පැන් පානය ජිවිතයේ සතුටුදායක නිමේෂයන් විනාශ කර දමන බව සිහිතබා ගන්න.
  10. දරු උපත් අතර නිසි පරතරයක් තිබිම, ඔබේ බිරිදගේත් දරුවන්ගෙත් සෞඛ්‍ය සම්පන්න බව සදහා ඉතා වැදගත්ය. මේ නිසා ඇයත් සමග සාකච්ජා කර මිළග දරු උපත සැලසුම් කරගන්න. පවුලේ වෛද්‍යවයාගෙන් මෙයට අවශ්‍ය උපදෙස් ලබාගන්න.