දියවැඩියාව

දියවැඩියාව යනු කුමක් ද?
දියවැඩියාව යනු ඉන්සියුලින් ස්‍රාවය අඩුවීම හෝ ඉන්සියුලින් හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ අඩුපාඩු යන කරුණු නිසා හෝ ‍මේ කරුණු දෙකම නිසා රුධිරයේ ඇති සීනී ප්‍රමාණය අධිකවීම නිසා ඇතිවන පරිවෘත්තිය ආශ්‍රිත රෝගයකි.පළමුවෙන් ම ආදි කාලීන සමාජයේ මෙය හදුනා ගත්තේ පැණි රසැති මුත්‍රා පිට කරන, ශරීරයේ පේශි අධික ලෙස ක්ෂයවීමට හේතුවන රෝගයක් ලෙසය.රුධිරයේ සිනී මට්ටම අධික නිසා මුත්‍රා සමග සීනි පිටවීමට මුල්වන අතරම එම නිසා රෝගයට ඉහත නම ලැබුණි.
සාමාන්‍යයෙන් අග්න්‍යාශය මගින් නිපදවන හෝර්මෝනයක් වන ඉන්සියුලින් මගින් රුධිර ග්ලූකෝස් මට්ටම ඉතා ප්‍රශස්ථ ලෙස පාලනය කෙරේ. ඉන්සියුලින් මගින් රුධිර ග්ලූකෝස් මට්ටම පහත හෙලයි. යම් හේතුවකින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ ගිය විට (උදා ආහාර ගැනීම නිසා)ඉන්සියුලින් ස්‍රාවය වන අතර එමගින් ග්ලූකෝස් මට්ටම නියමිත අගය දක්වා අඩු කරයි. නමුත් දියවැඩියාව ඇති රෝගීන්ගේ ඉන්සියුලින් ‍හෝර්මෝනය ස්‍රාවය නොවීම හෝ නිසි අයුරින් ක්‍රියා නොකිරීම නිසා මේ තත්ත්වය ඇති නොවේ. දියවැඩියාව දිගුකාලීනව පවතින රෝග තත්ත්වයකි. එනම් එම රෝගය සෑදුනු පසු ජිවිත කාලය පුරාම පවතින අතර, කළ හැක්කේ රෝගය පාලනය කිරීම පමණි.
දියවැඩියා රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

මේ රෝගය බොහෝ විට සැගව පවතින්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා බො‍හෝ කාලයක් පැවතිය හැකි බැවිනි.සමහරෙකුට පහත සදහන් රෝග ලක්ෂණ ඇති විය හැක.

  • නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය
  • අධික පිපාසය
  • අධික කුසගින්න
  • අසාමාන්‍ය ලෙස ශරීර‍යේ බර අඩුවීම
  • අධික ඇගේ මහන්සිය
  • නුරුස්නා බව
  • පෙනීම බොදවීම
  • තුවාල හොදවීමට කල් ගතවීම
  • සමේ කැසීම් ඇතිවීම හා දිලීර ආසාදන ඇති‍වීමේ නැඹුරුතාවය වැඩිවීම
  • තොලකට වියලීම
  • පාදයේ වේදනා ඇතිවීම

.

දියවැඩියාව ඇත්දැයි පරීක්ෂා කර ගත යුත්තේ කුමන අවස්ථාවේ ද?

  • අවුරුදු 35ට වඩා වැඩි වැඩිහිටියන්
  • ඉහත රෝග ලක්ෂණ වලින් කිසිවක් ඇති පුද්ගලයන්
  • පහත අවදානම් සාධක වලින් එකක් හෝ ඇති පුද්ගලයන්
    • ග්ලූකෝස් පරික්ෂා වල අසාමාන්‍යතා වාර්තා වු රෝගීන්
    • දියවැඩියාවෙන් පෙලෙන ළගම ලේ ඥාතින් සිටින පුද්ගලයින්
    • අලස දිවි පැවැත්මක් ඇති හෝ ස්ථුලතාවයෙන් පෙළෙන්නන්
    • අධික රුධිර පීඩනය හෝ අධිලිපිඩතාවයෙන් පෙළෙන්නන්
    • හෘදය හා රුධිර වාහිනී ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්
    • හෘදයාබාධ, ආසාතය, පපුවේ වේදනාව, අත් පා වල ධමනි ආශ්‍රිත රෝග ඇත්තන්
    • ඔබට බරින් වැඩි දරුවන් ලැබී ඇත්නම්
    • ඩිම්බ කෝෂවල දියර පිරීම හෝ ගර්භනී කාල‍යේඇතිවන දියවැඩියාව වැළදුනු  පුද්ගලයන්

දියවැඩියාව නිශ්චිතව සොයා ගන්නේ කෙසේ ද?

දියවැඩියාව ඇති බව නිශ්චිතව දැන ගැනීමට රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීම මගින් සිදු කල හැක (නිරාහාරව සිටීමෙන් පසු හෝ ක්ෂණිකව රුධිර සීනි මට්ටම පරීක්ෂණය). නිරාහාරව සිටීමෙන් පසු සිදු කරන රුධිර පරීක්ෂණය සදහා පැය 10ක් නිරාහාරව සිටිය යුතුය. නමුත් ඵම පැය 10 ඇතුලත ජලය පානය කල හැක.

ඔබට දියවැඩියාව වැළදුන කෙනෙක් නම් ඔබට ප්‍රයෝජනවත් විය හැකි කරුණු කිහිපයක්

  1. ඔබට නියම කර ඇති ඖෂධ නියමිත මාත්‍රාව, නියමිත වේලාවට ගන්න.
  2. නියම කර ඇති දිනට ඔබගේ වෛද්‍යවරයා හමු වන්න.
  3. දියවැඩියාව නිසා ඔබගේ ඇස් දුර්වල විය හැකි නිසා වසරකට වරක් අක්ෂි පරීක්ෂණයකට යොමු වන්න.
  4. දියවැඩියාව ඔබගේ වකුගඩු වලට බලපෑමක් ඇති කර ඇද්ද යන්න දැන ගැනීමට වෛද්‍ය උපදෙස් අනුව මුත්‍රා පරීක්ෂණයකට යොමු වන්න.
  5. ඔබට අධි ලිපිඩතාවය හා අධි රුධිර පීඩනය ඇත්දැයි නිතර පරීක්ෂාකරවා ගන්න.
  6. දුම් පානය නවත්වන්න.
  7. සමබල ආහාර වේලක් වෛද්‍ය උපදෙස් අනුව ලබා ගන්න.
  8. නිරන්තරයෙන් ව්‍යායාම වල යෙදෙන්න.
  9. ඔබගේ දෙපා ගැන සැළකිලිමත් වන්න.
    • පාවහන් මිලදී ගැනීමේදී හිර නොවූ පාවහන් ගන්න.
    • දිනපතා දෙපා තුවාල වී ඇත්දැයි හොදින් පරීක්ෂා කරන්න.
    • කුඩා හෝ තුවාලයක් දුටු විගස වෛද්‍යවරයෙක් හමු වන්න.

ඔබට දියවැඩියාව ඇත්නම්, නිරතුරුවම රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීම වැදගත්ය. එවිට මෙ‍ම රෝගය මගින් වකුගඩු, හෘදයවස්තුව, ඇස් හා ස්නායු වලට ඇති කරන අතුරු ආබාධ අවම කරගත හැකිය.

දියවැඩියා රෝගියකු හට සුදුසු ආහාර වේලක්

  • උදේ ආහාර වේල
  1. රතු කැකුළු බත් / කිරිබත්
  2. මුං ඇට,කඩල වැනි ධාන්‍ය වර්ග
  3. කුරක්කන් හෝ රතු කැකුළු පිටි වලින් සාදන ලද ඉදි ආප්ප,පිට්ටු
  4. පළතුරක්
  • දවල් ආහාර වේල
  1. රතු කැකුළු බත්
  2. කෙදි සහිත එළවළු සහ පළා වර්ග
  3. කුකුල් මස් /මාළු
  4. පළතුරක්
  • උදේ 10ට සහ සවස 4ට අමතර ආහාර
  1. කුරක්කන් බිස්කට් සහ සීනි රහිත බිස්කට් වර්ග
  2. සීනි රහිත තේ
  • රාත්‍රි ආහාර වේල
  1. රතු කැකුළු බත්
  2. කුරක්කන් හෝ රතු කැකුළු පිටි වලින් සාදන ලද ඉදි ආප්ප,පිට්ටු
  3. කුකුල් මස් /මාළු
  4. එළවළු
  5. පළතුරක්

උසට සරිලන බර

පිරිමි – උස අඩි 5 – රාත්තල් 106

ගැහැණු – උස අඩි 5 – රාත්තල් 100