ආර්තවහරණය

ආර්තවාහරණය යනු කුමක්ද?
ආර්තව චක්‍රය හා දරුවන් ලැබීමේ හැකියාව නිත්‍ය ලෙසම අවසන් වීම මෙලෙස හැදින්වේ.එය ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි.මේ අවධිය කාන්තාවකගේ ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරිත්වය නැවතී ඩිම්බ පිටවීම නතර වන කාලයයි. සාමාන්‍යයෙන් ආර්තවහරණය සිදුවන්නේ වයස අවුරුදු 45-55 අතර කාලයේදීය.(මධ්‍යස්ථ වයස අවුරුදු 50)නමුත් මෙය මීට පෙර වුවද සිදුවිය හැකිය.පෙර ආර්තවහරණය ලෙස හැදින්වෙන්නේ ආර්තවහරණය‍ට ආසන්න කාල පරිච්ජේදයයි.මෙම කාල සීමාව කාන්තාව ආර්තවහරණයට අදාළ විවිධ අත්දැකීම් අරඹන කාලයයි.

  • ශල්‍යකර්මයකට පසු ආර්තවහරණය සිදුවීම- ඩිම්බ කෝෂවල හෝ ගර්භාෂයේ පැවැති රෝගි තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයක් මගින් ඩිම්බකෝෂ (ගර්භාෂයත් සමග) ඉවත් කිරීම නිසා ආර්තවහරණය ඇතිවීම
  • පිළිකා සදහා සිදුකරන විකිරණ ප්‍රතිකාර නිසා
  • නියමිත කාලයට පෙර සිදුවන ඩිම්බ කෝෂ අක්‍රියවීම (Premature Ovarian failure)අවුරුදු 40ට පෙර ඩිම්බ කෝෂ අක්‍රියවීම මෙලෙස හැදින්වේ.

කායික

  • අධික වෙහෙසකාරී බව
  • රාත්‍රියට දහඩිය දැමීම
  • ශරීරය පුරා දිව යන උණුසුමක්- මෙය වඩාත් දැනෙන්නේ හිස හා පපුව ප්‍රදේශය‍ට වන අතර සම රත් පැහැ ගැන්වීමක් හා දහඩිය දැමීමකින් අවසන් විය හැක.
  • නින්ද නොයාම
  • යෝනි මාර්ගය ආශ්‍රිත ලක්ෂණ -ආර්තවහරණයත් සමග ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම අඩුවීම නිසා යෝනි මාර්ගය ආවරණ කරන පටක තුනි වී යාම මෙයට හේතුවේ. ලක්ෂණ ලෙස යෝනි මාර්ගය ආශ්‍රිත  වියළි බවක්, කැසීම හා ලිංගික සංසර්ගයේ දී වේදනාවක් ඇතිවීම දැක්විය හැකිය.
  • මුත්‍රා මාර්ගය ආශ්‍රිත ලක්ෂණ – මුත්‍රා මාර්ගය ආවරණය කරන පටකවලද ඉහත වෙනස්කම් ඇතිවීමෙන් මුත්‍රා මාර්ගය ආශ්‍රිත ආසාදන ඇතිවීමේ අවදානම වැඩිවේ. මුත්‍රා කරන වාර ගණන වැඩිවීම, තැටමීමේදී හෝ කැස්ස පවතින අවස්ථාවේදී මුත්‍රා නොදැනුවත්ව පිටවීම ආදියද ඇතිවේ.
  • අස්ථි පද්ධතිය -අස්ථිවල ඝනත්වය අඩුවීම (ඔස්ටියෝපොරෝසිස්) අස්ථි බිදීයා‍මේ අවදානම වැඩිවේ.
  • හෘදය හා රුධිරවාහිනී පද්ධතිය
  • රුධිර නාල තුල මේදය තැන්පත් වීම හා හෘද රෝග ඇතිවීම වැඩිවන අතර කොලෙස්ටරෝල් මට්ටමෙහි වෙනස්කම් හටගනි.
    • මුලු කොලෙස්ටරෝල්
    • HDL කොලෙස්ටරෝල්
    • LDL කොලෙස්ටරෝල්
    • ට්‍රයිග්ලිසරයිඩ  වෙනසක් නැත.
  • වෙනත් කායික වෙනස්කම්
    • ඉන හා උදරය ආශ්‍රිත ප්‍රදේශයේ අධික ලෙස මේදය තැන්පත් වීම නිසා ශරීර‍යේ බර වැඩිවේ.

මානසික

  • මානසික තත්ත්වයේ හදිසි වෙනස්කම්/උස් පහත්වීම්
  • සාංකාව
  • කෙටි කාලින මතකය දුර්වලවීම
  • චිත්ත ඒකාග්‍රතාවය අඩුවීම.
  • ආත්ම අභිමානය අඩුවීම
  • විෂාදය
  • නිතර කෝපගැන්වෙන බව

ආර්තවහරණය යනු රෝගයක් නොවේ. නමුත් ලක්ෂණ දරාගත නොහැකි තරම් දරුණු වුවහොත් එම ලක්ෂණ සදහා ප්‍රතිකාර කල හැක.

1. හෝර්මෝන නැවත ලබාදීම
කෘත්‍රිමව නිපද වූ ඊස්ට්‍රජන් හෝර්මෝනය හෝ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන එකතුවක් ලබාදිය හැක. ක්‍රමයෙන් අඩුවන ඊස්ට්‍රජන් මට්ටම නිසා ඇතිවන රෝග ලක්ෂණ පාලනය කිරීමට මෙය යොදා ගත හැක. අදාල කාන්තවකගේ අනෙකුත් රෝග තත්ත්වයන් ආදිය සලකා බලා නැවත හෝර්මෝන ලබාදිමේ වාසි-අවාසි ද මැන බැලීමෙන් පසු යමෙකුට නැවත හෝර්මෝන ලබාදීම සුදුසුයැයි වෛද්‍යවරයෙකු  විසින් තීරණය කල යුතුය.

නැවත හෝර්මෝන ලබාදිමට පෙර කල යුත්තේ කුමක් ද?
වෛද්‍යවරයෙකු හමුවන්න.
කාන්තාවගේ සම්පුර්ණ වෛද්‍ය ඉතිහාසය, පවුලේ පවතින රෝගී තත්ත්ව පිලිබද ඉතිහාසය ආදියේ සම්පූර්ණ විස්තරයක් වෛද්‍යවරයා විසින් ලබාගත යුතුය.

කායික පරික්ෂාව
පියයුරු හා ශ්‍රෝණිය ඇතුළුව සම්පූර්ණ සිරුර පරික්ෂාකර යම් රෝග තත්ත්වයක් ඇතිදැයි බැලිය යුතුය.

පරික්ෂණ

  • යෝනි මාර්ගය ඔස්සේ කෙරෙන ස්කෑන් පරික්ෂණ
    මෙයින් ගර්භාෂයේ එන්ඩොමෙට්‍රිය‍මේ ඝනකම, ඩිම්බකෝෂ හා ගර්භාෂයේ තත්ත්වය ආදිය පරික්ෂා කෙරේ.
  • රුධිරයේ සිනී මට්ටම/දියවැඩියාව හදුනා ගැනීමේ පරික්ෂණ
  • රුධිරයේ ලිපිඩ /කොලස්ටරොල් මට්ටම හදුනා ගැනීමේ පරික්ෂණ
  • පියයුරු ස්කෑන් පරික්ෂාව (මැමෝග්‍රෑම් පරික්ෂාව)

2. අනෙකුත් විටමින් හා ඛනිජ ලවන ප්‍රමාණවත් පරිදි ලබාගන්න.

  • මැග්නීසියම්
  • සින්ක්
  • විටමින්
  • කැල්සියම්

3. ක්‍රමවත් ලෙස ව්‍යායාමයේ යෙදීම

4. සමබල ආහාර වේලක් ලබා ගන්න
ශරීර ස්කන්ධ දර්ශකය  19-23  kg/m2 අතර පවත්වා ගැනීම (නිසි බර පවත්වා ගැනීම)
ආර්තවහරණයෙන් පසු සැලකිය යුතු කරුණු

  • වෛද්‍ය පරික්ෂණ
  • පැප් පරික්ෂණය
  • පියයුරු පරික්ෂා
  • ලිපිඩ මට්ටම
  • රුධිර ග්ලූකෝස් මට්ටම
  • රුධිර පීඩනය පරික්ෂා කරගැනීම
  • කායික පරික්ෂා හා ශ්‍රෝණි පරික්ෂා
  • තමා විසින් ම සිදු කරන පියයුරු පරික්ෂණය

අවධානය පිණිසයි.
ආර්තවහරණයෙන් පසුව යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් වේ නම් කොපමණ කුඩා ප්‍රමාණයක් වුව ද වහාම වෛද්‍යවරයෙකු හමුවීමට වගබලා ගන්න.එය වර්ධනය වන පිළිකාවක් පෙන්නුම් කරන රෝග ලක්ෂණයක් විය හැකිය.